Wednesday, October 16, 2013

චාර්ල්ස් කුමරු ප්‍රශ්න කරන්න කලින්ම තංගල්ල සභාපතිට නඩු

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් වෙඩි තබා ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම යන අපරාධවලට සම්බන්ධ යැයි චෝදනා ලබා සිටින ප්‍රධාන සැකකාර තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප පතිරණ ඇතුළු සය දෙනෙකුට නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා විසින් බ්‍රහස්පතින්දා (17) අධිචෝදනා පත්‍ර භාර දීමට නියමිතය.
මිනිස් ඝාතනය සහ ස්ත්‍රී දූෂණය පිළිබඳ මූලික නඩු කටයුතු තංගල්ල උසාවියේ සිදු කෙරුණ අවස්ථාවේ එහි සාක්ෂි විමසීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කරන ලදී. විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු වෙනත් විමර්ෂණ හෝ සාක්ෂි විමසීම් නොමැතිව නඩුව මහාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.
බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වූ කුරාම් ෂයික්‌  මහතා වෙඩි තබා ඝාතනය කොට ඔහුගේ පෙම්වතියට ද හිරිහැර කිරීමේ සිද්ධිය කෙරෙහි අවධානය යොමුකර ඇති බ්‍රිතාන්‍ය රජයේ බලධාරීන්, ලබන මස පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුවට පැමිණි විට ඒ ගැන ශ්‍රී ලංකා රජයෙන් විමසීමට සූදානමින් සිටින බව එරට තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.මේ ඝාතනයට යුක්‌තිය ඉටුනොවීම, පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට ද අහිතකර ලෙස බලපාන කරුණක්‌ බවට පත්වී තිබේ.

පොදුරාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍යයේ චාල්ස්‌ කුමරු මෙන්ම බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද මේ ඝාතනය සම්බන්ධ පරීක්‍ෂණවලට සාධාරණය ඉටු නොවීමේ කාරණා ගැන සොයා බලා රජයෙන් කරුණු විමසනු ඇතැයි වාර්තා වේ. රතුකුරුස සංවිධානයේ සේවකයකු වූ කුරාම් ෂයික්‌ 2011 දෙසැම්බර් 25 වැනිදා තංගල්ල හෝටලයකදී කෲර ලෙස වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ඔහුගේ පෙම්වතියට ද සිදුකළ හිරිහැර හේතුවෙන් ඇයට ද රෝහල්ගත වී ප්‍රතිකාර ගන්නට සිදුවිය. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වූයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් චන්ද්‍රපුෂ්ප නමැත්තාය.

බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසන පරිදි එම ඝාතනය සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීමට චාල්ස්‌ කුමරු සූදානමින් සිටී.එසේම මේ ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලට මුහුණදීමට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට ද සිදුවිය. එහිදී තමා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වන බව පැවසූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මේ ඝාතන පරීක්‍ෂණ සම්බන්ධයෙන් තමා පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව පැවැත්වෙන කාලය තුළදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසීමට ද බලාපොරොත්තු වන බවයි.  ( ශ්‍රී ලංකා මිරර් පුවතකි)

No comments:

Post a Comment